තායිවානයට එරෙහිව ක්‍රියාත්මක වන තොරතුරු යුද්ධයේදී (Information War), එරට රජයට එරෙහිව පවතින විපක්ෂයේ හඬවල් චීන රාජ්‍ය මාධ්‍ය විසින් ඉතා සූක්ෂ්ම ලෙස භාවිත කරන බව නවතම වාර්තා හෙළි කරයි. තායිවාන රජයේ ජනප්‍රියත්වය හීන කිරීම සහ එරට ජනතාව තුළ පාලනය පිළිබඳ අවිශ්වාසයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ. විශේෂයෙන්ම තායිවාන විපක්ෂ නායක චෙන්ග් ලි-වන් වැනි පුද්ගලයන් රජය විවේචනය කරමින් සිදුකරන ප්‍රකාශ, චීනයේ ‘ඩොයින්’ (Douyin) වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කරමින් චීනය මෙම මනෝවිද්‍යාත්මක මෙහෙයුම දියත් කරයි.
මෙම තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාරයේ තවත් අරමුණක් වන්නේ තායිවානය සිය ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට ගන්නා උත්සාහයන් අඩපණ කිරීම බව තායිවාන බලධාරීන් පෙන්වා දෙයි. තායිවාන ජනාධිපති ලායි චින්ග්-ටේ ගේ ස්වාධීනත්වයට හිතවාදී ප්‍රතිපත්ති හේතුවෙන් මුළු රටම අනතුරක වැටී ඇති බව පෙන්වීමට චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ මාධ්‍ය ආයතන උත්සාහ දරයි. මෙයට පිළියම් ලෙස තායිවාන රජය මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, චීනයට යටත් නොවී ශක්තිමත්ව සිටීමේ වැදගත්කම ජනතාවට අවධාරණය කරයි.














