ලොව සුප්‍රසිද්ධ කෘතිම බුද්ධි තාක්ෂණ සමාගමක් වන OpenAI ආයතනය විසින් ChatGPT වෙත නව යාවත්කාලීනයක් හඳුන්වා දී ඇත. ඒ අනුව, මින් ඉදිරියට Hancom Office මෘදුකාංගය මඟින් භාවිත කරන HWP සහ HWPX වර්ගයේ ලේඛන (Documents) සෘජුවම ChatGPT වෙත උඩුගත (Upload) කිරීමට පරිශීලකයන්ට අවස්ථාව හිමි වේ.
මීට පෙර කොරියානු භාෂාවෙන් සැකසූ මෙම ගොනු භාවිත කිරීමේදී ඒවා වෙනත් වර්ගයකට (Format) පරිවර්තනය කිරීමට සිදු වූ අතර, දැන් එවැනි බාධාවකින් තොරව සෘජුවම ලේඛන උඩුගත කර ඒවායේ අන්තර්ගතය විශ්ලේෂණය කිරීමට හැකියාව ලැබේ.
උඩුගත කරන ලද HWP හෝ HWPX ලේඛනයක් තුළ ඇති තොරතුරු පිළිබඳව සාමාන්‍ය බසින් ප්‍රශ්න ඇසීමටත්, එම ලේඛනයේ සාරාංශයක් (Summary) ලබා ගැනීමටත් පරිශීලකයන්ට දැන් හැකියාව ඇත.
විශේෂයෙන්ම කොරියානු පරිශීලකයන්ගේ දෛනික වැඩ කටයුතු සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම පහසුකම එක් කළ බව OpenAI සමාගම පවසයි. ඉදිරියේදී පරිශීලක ඉල්ලීම් මත මෙම සේවාව තවදුරටත් දියුණු කිරීමට ද ඔවුන් සැලසුම් කර ඇත.
මෙමඟින් කාර්යාලීය කටයුතුවලදී සහ අධ්‍යාපනික කටයුතුවලදී ලේඛන පරිහරණය කිරීම වඩාත් වේගවත් සහ කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














