සිංහල සහ දමිළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කරා පැමිණීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් සංවිධානය කර තිබේ. මෙම විශේෂ දුම්රිය සේවාව හෙට (අප්‍රේල් 18) සහ අනිද්දා (අප්‍රේල් 19) යන දිනවල ක්‍රියාත්මක වනු ඇත. සාමාන්‍ය දුම්රිය කාලසටහනට අමතරව ධාවනය කෙරෙන මෙම දුම්රියන් මගීන්ගේ පහසුව වෙනුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ග කිහිපයක් ඔස්සේ ධාවනය කිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.
ඒ අනුව අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත යන ප්‍රධාන නගරවල සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය වනු ඇත. මීට අමතරව බෙලිඅත්ත සිට මහව දක්වා ධාවනය වන ‘රජරට රැජින’ දුම්රිය ද අවුරුදු සමය නිමිත්තෙන් අනුරාධපුරය දක්වා දීර්ඝ කර ඇති අතර මගීන්ට අවශ්‍ය තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් හෝ ප්‍රධාන දුම්රිය ස්ථානවලින් ලබා ගත හැකි බව ද දැනුම් දී තිබේ.














