ජර්මානු සංචාරක සමාගමක් විසින් මෙහෙයවනු ලබන ලොව සුප්‍රසිද්ධ ‘MS Amadea’ සුඛෝපභෝගී මගී නෞකාව සිය ලෝක සංචාරයේ එක් අදියරක් ලෙස අද (17) දිවයිනට පැමිණියේය. බහමාස් ධජය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නෞකාව මගීන් 580 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 315 දෙනෙකු සමඟින් පළමුව ගාල්ල වරායට සේන්දු වූ අතර, ඉන් පැමිණි සංචාරකයින් බහුතරයක් ජර්මානු ජාතිකයෝ වෙති. 2025 දෙසැම්බර් මාසයේදී ජර්මනියෙන් ආරම්භ වූ දින 146ක ගෝලීය සංචාරයක නිරත මෙම නෞකාව, මීටර් 193ක දිගකින් යුක්ත වන අතර එහි ඇති සියලුම මැදිරි පෞද්ගලික බැල්කනිවලින් සමන්විත වීම විශේෂත්වයකි.
සංචාරකයින් ගාල්ල කොටුව, හික්කඩුව, රූමස්සල සහ අහංගම වැනි ප්‍රදේශවල සංචාරය කිරීමට සැලසුම් කර තිබුණද, මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් කුඩා බෝට්ටු මගින් මගීන් ගොඩබෑමට බාධා එල්ල විය. මේ හේතුවෙන් නෞකාව ගාල්ලෙන් පිටත්ව කොළඹ වරාය වෙත පැමිණීමට පියවර ගෙන තිබේ. ජර්මනියේ අතිශය ජනප්‍රිය ‘Das Traumschiff’ (The Dream Ship) රූපවාහිනී කතා මාලාව රූගත කිරීම සඳහා නිල වශයෙන් භාවිත කරන්නේ ද මෙම නෞකාව වීම නිසා මෙහි පැමිණීම සංස්කෘතිකමය වශයෙන් ද වැදගත්කමක් උසුලයි.














