යුක්‍රේනයේ විශාලතම ඩැනියුබ් (Danube) ගංගා වරාය වන ඉස්මයිල් (Izmail) ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ රාත්‍රී ඩ්‍රෝන ප්‍රහාරයකින් වරාය යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බව යුක්‍රේන සහ රොමේනියානු බලධාරීහු සිකුරාදා ප්‍රකාශ කළහ.
ප්‍රහාරය හේතුවෙන් වරාය පරිශ්‍රයේ ගිනි ගැනීම් හටගත් අතර, හදිසි සේවා අංශ මැදිහත් වී ඒවා පාලනය කිරීමට සමත් විය. පරිපාලන සහ නිෂ්පාදන ගොඩනැඟිලි මෙන්ම දුම්රිය යටිතල පහසුකම්වලට ද මෙයින් හානි සිදු වී ඇතත්, කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බව යුක්‍රේන බලධාරීහු තහවුරු කරති.
මෙම ප්‍රහාරය අතරතුර එක් රුසියානු ඩ්‍රෝන යානයක් නේටෝ (NATO) සංවිධානයට අයත් රොමේනියානු දේශසීමාව තුළට ද ඇතුළු වී ඇති බව වාර්තා වේ. ඩැනියුබ් ජීවගෝල රක්ෂිතයේ (Danube Biosphere Reserve) ගිනි ගැනීම් හට ගැනීමට ද මෙම ප්‍රහාර හේතු වී ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා සවස සිට රුසියාව විසින් යුක්‍රේනය වෙත එක් බැලස්ටික් මිසයිලයක් සහ ඩ්‍රෝන යානා 172ක් දියත් කර තිබේ. ඉන් ඩ්‍රෝන යානා 147ක් විනාශ කිරීමට යුක්‍රේන ගුවන් ආරක්ෂක අංශ සමත් වුවද, ඉතිරි ප්‍රහාර ස්ථාන අටකට පමණ පතිත වී ඇත.
ඔඩෙස්සා (Odesa) ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ අවම වශයෙන් නේවාසික ගොඩනැඟිලි හයක් පමණ මෙම ප්‍රහාරවලට ලක්ව ඇති බවයි. හානි සිදු වුවද, ඉස්මයිල් වරායේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුවන බව වරාය බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.














