ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව, ඊශ්‍රායලයේ මීළඟ අවධානය තුර්කිය දෙසට යොමු වීමේ දැඩි අවදානමක් පවතින බව තුර්කි විදේශ අමාත්‍ය හකන් ෆිඩාන් (Hakan Fidan) ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායලය, ග්‍රීසිය සහ සයිප්‍රසය අතර ගොඩනැගෙමින් පවතින නව බලශක්ති සහ ආරක්ෂක සන්ධානය හරහා තුර්කිය වටලෑමකට ලක්වෙමින් පවතින බව විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඉරානය සමඟ ගැටුම්වලින් පසු ඊශ්‍රායලය තුර්කිය සිය නව සතුරා ලෙස නම් කිරීමට උත්සාහ කරන බවට ඔහු සැක පළ කරයි.
ග්‍රීසිය ඊශ්‍රායලය සමඟ යුද අභ්‍යාස සහ අවි ගනුදෙනුවල නිරත වීම “අන්තරායකර” ප්‍රතිපත්තියක් බවත්, එමඟින් ග්‍රීසිය අනවශ්‍ය කලාපීය ගැටුම්වලට ඇද දැමීමේ අවදානමක් පවතින බවත් තුර්කිය අවධාරණය කරයි.
ග්‍රීක විදේශ අමාත්‍යාංශය මෙයට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ තමන් ස්වෛරී රාජ්‍යයක් ලෙස තීන්දු තීරණ ගන්නා බවත්, කිසිදු පාර්ශවයක උපදෙස් මත කටයුතු නොකරන බවත්ය.
තුර්කි ජනාධිපති එර්ඩොගන් විසින් ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක නිරත වන බවට කළ චෝදනාවට පිළිතුරු ලෙස, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායෙල් කැට්ස් විසින් තුර්කි ජනාධිපතිවරයා “කඩදාසි කොටියෙකු” ලෙස හඳුන්වමින් අපහාසාත්මක ප්‍රකාශයක් ද නිකුත් කර ඇත.
මෙම තත්ත්වය හමුවේ නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ යුධමය සහ දේශපාලන උණුසුම තවදුරටත් ඉහළ ගොස් තිබේ.














