වසර 50කට වැඩි කාලයකට පසු සඳ වටා ගිය ප්‍රථම මානව මෙහෙයුම වූ Artemis II මෙහෙයුම සාර්ථකව නිම කළ ගගනගාමීන් සිව්දෙනා, සිය සංචාරයෙන් පසු පළමු වරට මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබේ. හූස්ටන්හි නාසා ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඔවුන් මෙම අදහස් පළ කළහ.
ඇමෙරිකානුවන් තිදෙනෙකු සහ එක් කැනේඩියානු ජාතිකයෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම අප්‍රේල් 01 වන දින සිය ගමන ආරම්භ කළහ. පෘථිවියේ සිට සැතපුම් 252,000ක් ඈතින් සිට සඳ දෙස බැලීම මිනිස් ඇසකින් දැකිය හැකි “අතිශය උදාරම සහ සුන්දරම” අත්දැකීම බව මෙහෙයුමේ අණදෙන නිලධාරී රීඩ් වයිස්මන් (Reid Wiseman) පැවසීය.
අභ්‍යවකාශයේදී ඇතිවන නොදන්නා බිය පිළිබඳව අදහස් දක්වමින් ක්‍රිස්ටිනා කොක් (Christina Koch) පැවසුවේ, සෑම පරීක්ෂණයක්ම සාර්ථකව අවසන් කළ පසු තමන් පුදුමයට පත් වූ බවයි. විශේෂයෙන්ම ශබ්දයේ වේගය මෙන් 39 ගුණයක වේගයකින් පෘථිවි වායුගෝලයට යළි ඇතුළු වීම අතිශය බියජනක සහ අවදානම් සහගත අත්දැකීමක් වූ බව ගගනගාමීහු පෙන්වා දුන්හ.
අණදෙන නිලධාරී රීඩ් වයිස්මන්, මියගිය සිය බිරිඳට උපහාරයක් ලෙස සඳෙහි ඇති දීප්තිමත් ආවාටයක් සඳහා “කැරොල් ආවාටය” (Carroll Crater) යන නම යෝජනා කර තිබේ. පෘථිවියට පැමිණි පසු තවමත් නිසි ලෙස සඳ දෙස බැලීමටවත් තමාට විවේකයක් නොලැබුණු බව ඔහු පවසයි.
Artemis II මෙහෙයුමෙන් ලබාගත් දත්ත, තවත් වසර දෙකකින් සිදු කිරීමට නියමිත සඳ මත මිනිසුන් ගොඩබැස්වීමේ මෙහෙයුමට සහ ඉදිරියේදී සඳ මත පදනමක් (Moon base) ඉදිකිරීමට විශාල සහයෝගයක් වනු ඇතැයි නාසා ආයතනය විශ්වාස කරයි.
මෙම කණ්ඩායම (වයිස්මන්, ග්ලෝවර්, කොක් සහ හැන්සන්) වසර 50කට පසු සඳ වෙත ගිය පළමු කණ්ඩායම මෙන්ම ඉතිහාසයේ සඳ වෙත ගිය වඩාත්ම විවිධත්වයකින් යුත් (වර්ණ සහ ලිංගිකත්වය අනුව) ගගනගාමී කණ්ඩායම ද වේ.














