මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව, හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාගේ ජංගම දුරකතනය ලබන 29 වැනිදා අධිකරණය හරහා පොලිස් භාරයට ගැනීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතා අද (17) ප්‍රකාශ කළේය.
නඩුවක සාක්ෂිකරුවකුට බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ දුරකතනය පරීක්ෂා කිරීමේදී, හිටපු අමාත්‍යවරයා සමඟ හුවමාරු වූ වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ සහ ඇමතුම් කිහිපයක් මකා දමා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අදාළ විමර්ශනයට අතිශය වැදගත් වන සාක්ෂි එම දුරකතනය හරහා අනාවරණය කරගත හැකි බැවින්, එහි විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීම සඳහා ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.
මීට පෙර දුරකතනය ලබාදීමට හිටපු අමාත්‍යවරයා අකමැත්ත ප්‍රකාශ කර තිබූ අතර, ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ලබන 29 වැනිදා එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අවධාරණය කළේ මෙම පියවර ගනු ලබන්නේ කිසිදු පෞද්ගලික හේතුවක් මත නොව, විමර්ශනයට අදාළ සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමේ අරමුණින් පමණක් බවයි.














