බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසන්නේ, අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන් මාලිමාවේ මන්ත්‍රීවරුන් 153 දෙනාම මෙම වංචාව වෙනුවෙන් පෙනී සිටි බව අද ඔප්පු වී ඇති බවයි
චෝදනාවල බරපතලකම නිසා අමාත්‍යවරයා ඉවත් කරන ලෙස විපක්ෂය කළ ඉල්ලීම්වලට ආණ්ඩුව ඇහුම්කන් නොදුන් බවත්, දැන් තත්ත්වය බරපතල නිසා ප්‍රමාද වී හෝ මෙම ඉල්ලා අස්වීමට සිදුවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ගෙන්වීම නිසා රටට රුපියල් බිලියන 20කට වඩා අධික පාඩුවක් සිදුවී ඇති බව විගණන වාර්තාවලින් පෙනී යන බවත්, අමාත්‍යවරයා තවදුරටත් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.විශ්වාසභංග විවාදයේදී ආණ්ඩුව අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට දැඩි උත්සාහයක නිරත වූ බවත්, අමාත්‍යවරයාගේ මෙම ඉල්ලා අස්වීම හරහා විපක්ෂයේ චෝදනා සාධාරණ බව තහවුරු වන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි. මෙම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට කර ඇති පැමිණිලි කඩිනමින් විමර්ශනය කළ යුතු බව පවසන අජිත් පී. පෙරේරා මහතා, වත්මන් රජය යටතේ නිසි පරීක්ෂණ සිදු නොවන්නේ නම් අනාගත රජයක් යටතේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට අනතුරු ඇඟවීය.












