ගෝලීය බලශක්ති මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්, සම්බාධක පනවා ඇති රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ලබා දී තිබූ අවසරය තවත් මාසයකට ආසන්න කාලයකින් දීර්ඝ කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ඊයේ (17) පියවර ගත්තේය. ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම වැළැක්වීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට අනුව, නැව්වල පටවා ඇති රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා ලබා දී ඇති මෙම නව සහනය මැයි 16 වැනිදා දක්වා වලංගු වේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය අර්ධ වශයෙන් වසා දමා තිබීම නිසා ලෝක තෙල් සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ, රුසියානු තෙල් බැරල් මිලියන 100 ක් පමණ වෙළඳපොළට මුදා හැරීමට මෙමඟින් අවස්ථාව සැලසේ. කෙසේ වෙතත්, රුසියාවට එරෙහි සම්බාධක මෙලෙස ලිහිල් කිරීම පිළිබඳව යුරෝපා සංගමය ඇතුළු බටහිර මිත්‍ර රටවල් සිය අකමැත්ත පළ කර ඇත්තේ, එමඟින් යුක්රේන යුද්ධය සඳහා රුසියාවට අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙනු ඇති බව පවසමිනි.














