හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් රජය සතු රහස්‍ය ලේඛන සමාලෝචනය කිරීමේදී “ඉතා රසවත්” තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවත්, එම වාර්තාවල පළමු කොටස ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත් කරන බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ෆීනික්ස් (Phoenix) නුවර පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ සංසිද්ධීන් නිවැරදිද යන්න මහජනතාවටම දැකබලා ගැනීමට මෙලෙස අවස්ථාව සලසා දෙන බවයි.
පිටසක්වල ජීවීන් සහ හඳුනා නොගත් ආකාශ සංසිද්ධීන් පිළිබඳව මහජනතාව තුළ පවතින දැඩි උනන්දුව සලකා බලා, ඒ පිළිබඳ ලිපිගොනු මුදා හරින ලෙස ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි මාසයේදී රජයේ ආයතනවලට නියෝග කර තිබුණි. හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් පිටසක්වල ජීවීන් පිළිබඳව කළ ප්‍රකාශයකින් පසුව මෙම ලේඛන පරීක්ෂාව ආරම්භ වූ අතර, පෙන්ටගනය මීට පෙර පවසා තිබුණේ පිටසක්වල තාක්ෂණය පෘථිවියට පැමිණ ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නොමැති බවයි. කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ මෙම නව ලේඛන හරහා මහජනතාවට නව තොරතුරු රැසක් දැනගත හැකි වනු ඇති බවයි.














