හෙට (අප්‍රේල් 20) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. හෙට දිනයේ කොළඹ නගරයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 ක් ලෙස සටහන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














