බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අද (අප්‍රේල් 18) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම “පරීක්ෂණවලට සහාය වීමක්” නොව මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ සිදු වූ පසුබැසීමක් බවයි.
පරීක්ෂණවලට සහාය වීමට ඉල්ලා අස් වූ බව පැවසීම පදනම් විරහිත බවත්, අමාත්‍යවරයා ඉල්ලා අස් වූයේ ඔහුට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා සහ මහජන පීඩනය නිසා බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව රජය විසින් පරාජය කළ ද, සතියක් ඇතුළත අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට සිදු වීම හරහා ආණ්ඩුවේ පරාජය පෙන්නුම් කරන බව ඔහු පැවසීය.
2009 වසරේ සිට ගල් අඟුරු ගනුදෙනු සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීම හොඳ වුවත්, පරීක්ෂණ ආරම්භ කළ යුත්තේ වර්තමානයේ සිදුවී ඇති අක්‍රමිකතාවලින් බව මරික්කාර් මහතා පෙන්වා දුන්නේය. පරීක්ෂණ පවත්වන ආයතන, පොලිසිය සහ රජය සියල්ල එකම පාර්ශවයක බැවින් “පරීක්ෂණවලට සහාය වීම” යන තර්කය පිළිගත නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඩොලර් 286 කට බොරතෙල් ආනයනය කිරීම සහ බාල ගල් අඟුරු ගෙන්වීම හරහා සිදුවූ වංචාවන් මේ වන විටත් තහවුරු වී ඇති බව මන්ත්‍රීවරයා චෝදනා කළේය. “හොරු අල්ලන්න” බලයට පැමිණි රජය දැන් හොරකම් සිදු කරන බවත්, ජනතාව මේ පිළිබඳව ඉතා විමසිල්ලෙන් පසුවන බවත් ඔහු මෙහිදී අනතුරු ඇඟවීය.
බලශක්ති අමාත්‍යවරයාට සහ ලේකම්වරයාට එරෙහිව එල්ල වී ඇති බරපතල චෝදනා හමුවේ ඔවුන් ඉල්ලා අස්වීම මහජනතාව ලැබූ ජයග්‍රහණයක් බව මරික්කාර් මහතා සඳහන් කළේය. විමර්ශන අවසන් වීමට පෙර ඇතැම් අමාත්‍යවරුන් විසින් හිටපු අමාත්‍යවරයා “නිර්දෝෂී” බව පැවසීම පරීක්ෂණවල ස්වාධීනත්වය පිළිබඳව ගැටලු මතු කරන බවද ඔහු මෙහිදී පැවසීය.














