යූරියා ඇතුළු අනෙකුත් පොහොර වර්ගවල මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පොළොන්නරුව සහ හබරණ ඇතුළු ප්‍රදේශ රැසක ගොඩබෝග වගා කරන ගොවීන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති. වගා කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන පොහොර මිලදී ගැනීමට නොහැකි තරමට මිල ඉහළ යාම නිසා වගාවන් අතරමග නතර වීමේ අවදානමක් පවතින බව ඔවුහු පවසති.
ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරණ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, ගොඩබෝග වගාවන් සඳහා රජයෙන් කිසිදු පොහොර සහනාධාරයක් හිමි නොවීම මෙම පීඩනය තවදුරටත් දැඩි වීමට හේතු වී ඇති බවයි. වී වගාවට සාපේක්ෂව එළවළු සහ අනෙකුත් අතිරේක බෝග වගා කරන ගොවීන් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු නොවීම පිළිබඳව ඔහු සිය කනස්සල්ල පළ කළේය.
අධික නිෂ්පාදන පිරිවැය හමුවේ ගොවිතැනින් ඈත් වීමට සිදුවුවහොත් ඉදිරි කාලයේදී එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බවට ගොවි සංවිධාන අනතුරු අඟවයි. එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගොඩබෝග වගාකරුවන් සඳහා ද ක්‍රමවත් පොහොර සහනාධාරයක් හෝ සහන මිලකට පොහොර ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටියි.














