ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය තුළ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා හා නීති විරෝධී ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු ලබන සතියේ සිට නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද මෙම කොමිසම මගින් මෙරට ගල්අඟුරු විදුලි ජනන ඉතිහාසයේ සිට 2026 අප්‍රේල් 16 වැනිදා දක්වා වූ සම්පූර්ණ කාල සීමාවම ආවරණය වන පරිදි විමර්ශන සිදු කරනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති. කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන පී.වී. බන්දුලසේන මහතාය.
විශේෂයෙන්ම රජයට අයත් සී/ස ලංකා ගල්අඟුරු පුද්ගලික සමාගම හරහා සිදුකළ ආනයනයන්හිදී සිදුවූ බව කියන මූල්‍ය වංචා, ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීම් සහ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මිලදී ගැනීම් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත. පසුගිය දිනවල දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වූ ගල්අඟුරු වංචාවට අදාළව විෂයභාර අමාත්‍යවරයා ද ඉල්ලා අස්වූ පසුබිමක, මෙම කොමිසමේ විමර්ශන වාර්තාව දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ තීරණාත්මක සාධකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














