නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (19) කොළඹදී පැවැත්විණි. දෙරට අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම මෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයන් දෙපළ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්හ.
අද උදෑසන දිවයිනට පැමිණි උප ජනාධිපතිවරයා, මීට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද හමුවී සාකච්ඡා පැවැත්වීය. සිය සංචාරය අතරතුර ඔහු ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවේ නායකයන් සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ දේශපාලන නායකයන් ද හමුවීමට නියමිතය.
මෙම සංචාරයේ විශේෂ අවස්ථාවක් ලෙස, ඉන්දීය රජයේ ආධාර මත ඉදිකළ නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ නිම වූ නිවාස, ප්‍රතිලාභීන් වෙත පිරිනැමීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සංකේතාත්මකව සිදු කිරීමට ද උප ජනාධිපතිවරයා සැලසුම් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය හරහා දෙරට අතර පවතින ඓතිහාසික හා ශිෂ්ටාචාරමය සබඳතා තවදුරටත් තහවුරු වන බවයි.














