බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ලබා දී ඇති වාර්තාව පාර්ලිමේන්තුව හරහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (COPE) බලය පවතින බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 යටතේ කෝප් කමිටුවට මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කළ හැකි බවත්, ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශන සිදු කිරීමට නීතිපතිවරයාට උපදෙස් දිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. 2009 වසරේ සිට බාල ගල් අඟුරු ගෙන්වා ඇති බවට රජය කරන ප්‍රකාශ අසත්‍ය බවත්, තමා වසර 36ක් පාර්ලිමේන්තුවේ සිටි කාලය තුළ එවැනි සිදුවීමක් පිළිබඳ කිසිදු විගණන වාර්තාවක් හෝ විවාදයක් සිදු නොවූ බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.
වර්තමාන රජයට එල්ල වී ඇති ගල් අඟුරු චෝදනාව වසා ගැනීම සඳහා 2009 වසරේ සිට පරීක්ෂණ පවත්වන බව පවසමින් ජනාධිපති කොමිසමක් පත් කර ඇති බවට ද ඔහු චෝදනා කරයි. කෝප් කමිටුවේ බහුතරය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන බැවින්, ඔවුන්ට සැබෑ වුවමනාවක් තිබේ නම් මෙම දූෂණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් නොමැති බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














