දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (අප්‍රේල් 20) පෙරවරුවේ නුවරඑළිය හක්ගල පිහිටි ඓතිහාසික සීතා අම්මන් කෝවිල වැඳපුදා ගත්තේය.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් නුවරඑළියට පැමිණි උප ජනාධිපතිවරයාව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සහ වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන් විසින් පිළිගනු ලැබූහ. එහිදී ඔහු ඉන්දීය ආධාර යටතේ රාගල ලිඩල්ස්ඩේල් වතුයායේ ඉදිකළ නිවාස යෝජනා ක්‍රමය නිරීක්ෂණය කළ අතර එහි පදිංචි වතු කම්කරුවන් සමඟ ද සුහද කතාබහක නිරත විය.
අනතුරුව සීතා අම්මන් කෝවිල වෙත පැමිණි උප ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වුණු අතර, එහිදී කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා විසින් විශේෂ සමරු තිළිණයක් ද ඔහු වෙත පිළිගන්වන ලදී. මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස්වරයා සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටි අතර, ආගමික වතාවත්වලින් පසු උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස යළි කොළඹ බලා පිටත්ව ගියහ.













