ඉරාන යුද්ධය සහ මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හේතුවෙන් ඉන්දියාවේ ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) ආනයනය අඩාල වී ඇති අතර, ඒ හේතුවෙන් එරට ගෑස් පරිභෝජනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ. ඛනිජ තෙල් සැලසුම් සහ විශ්ලේෂණ අංශය (PPAC) නිකුත් කළ නවතම දත්ත මගින් මේ බව තහවුරු කර ඇත.
පසුගිය 2025 මාර්තු මාසයේදී ටොන් මිලියන 2.729ක් ලෙස පැවති ඉන්දියාවේ සමස්ත LPG පරිභෝජනය, 2026 මාර්තු මාසය වන විට ටොන් මිලියන 2.379ක් දක්වා පහත වැටී තිබේ. මෙය සියයට 12.8ක සැපයුම් අඩුවීමක් ලෙස සැලකේ. මෙහිදී දේශීය භාවිතය සියයට 8.1කින් සහ වාණිජ කටයුතු සඳහා භාවිත කෙරෙන ගෑස් ප්‍රමාණය සියයට 48ක මට්ටමකින් අඩුවී ඇත.
වඩාත් කැපී පෙනෙන පහත වැටීම වාර්තා වන්නේ මහා පරිමාණ වෘත්තීය ක්ෂේත්‍රයෙනි. එම අංශයේ ගෑස් භාවිතය සියයට 75.5ක් වැනි ඉහළ අගයකින් පහත වැටී ඇති බව වාර්තාව පෙන්වා දෙයි. මැදපෙරදිග අර්බුදය නිසා සැපයුම් මාර්ග අවහිර වීම සහ මිල ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.













