ඊයේ (අප්‍රේල් 20) මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශවලට ඇදහැළුණු තද වර්ෂාව සමඟ ඇති වූ ප්‍රබල සුළඟින් නිවාස රැසකට හානි සිදුව ඇති අතර, අධිබලැති විදුලි රැහන් පද්ධති මතට ගස් කඩා වැටීමෙන් ප්‍රදේශයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකිය. මීට අමතරව මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වාර්තා වේ.
සවස් කාලයේ වැසි ඇති වුවද, දහවල් කාලයේදී උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැඟෙනහිර, දකුණු පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ඊයේ පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 75 ක් හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එළිමහනේ රැඳී සිටීමෙන් වැළකී සිටීම, ලෝහමය සන්නායක සහිත උපකරණ භාවිතයෙන් බැහැර වීම සහ ආරක්ෂිත ගොඩනැඟිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටීම වැදගත් වේ.














