මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ තම බැංකුව බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 64.4ක් සහ බදු පසු ලාභය ලෙස බිලියන 40ක් උපයා ඇති බවයි. මෙය මහජන බැංකු ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ලාභාංශය ලෙස සැලකේ. එමෙන්ම ලංකා බැංකුව සිය 87 වසරක ඉතිහාසයේ දැවැන්තම ලාභය වාර්තා කරමින් බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 120.8ක් උපයා ඇති අතර, ඉන් රුපියල් බිලියන 77ක් රජයට බදු වශයෙන් ගෙවා ඇති බව එහි සභාපති කාවින්ද ද සොයිසා මහතා පෙන්වා දුන්නේය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද සිය ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කිරීමට සමත්ව ඇති අතර, බදු පෙර ලාභය රුපියල් බිලියන 59ක් ලෙස සටහන්ව තිබේ. එහි සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සඳහන් කළේ බැංකුව විසින් ලාභාංශ ලෙස රුපියල් බිලියන 6ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දී ඇති බවයි. රාජ්‍ය ප්‍රතිපත්තීන් සමඟ අනුගත වෙමින් ඉහළ මූල්‍ය විනයක් සහිතව කටයුතු කිරීම මෙම ජයග්‍රහණවලට මූලික හේතුව වූ බව බැංකු ප්‍රධානීහු මෙහිදී අවධාරණය කළහ.
මෙම වාර්තාගත ලාභාංශ රටේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීමට මෙන්ම ඉදිරි සංවර්ධන කටයුතු සඳහා රජයේ මූල්‍ය ශක්තිය ඉහළ නැංවීමට ද විශාල පිටුවහලක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති. බැංකු කාර්ය මණ්ඩලවල කැපවීම සහ මහජනතාව රාජ්‍ය බැංකු පද්ධතිය කෙරෙහි තැබූ විශ්වාසය ද මෙම සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රධාන සාධක ලෙස බැංකු ප්‍රධානීහු සිහිපත් කළහ.














