ලෝක සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති “එහිපස්සිකෝ” (Ehipassiko) ගෝලීය සාම පා ගමනට සහභාගී වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි වියට්නාම ජාතික භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (21) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ. පූජ්‍ය පඤ්ඤාකර සහ රතනගුණ යන හිමිවරුන් ඇතුළු මෙම දූත පිරිස සමග ගිහි පිරිසක් මෙන්ම “ආලෝක” (Aloka) නම් සුනඛයෙකුද පැමිණීම විශේෂත්වයකි. තුර්කියේ ඉස්තාන්බුල් සිට පැමිණි ඔවුන්ව ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමාර යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබූහ.
මෙම පැමිණීමේ වඩාත්ම කතාබහට ලක්වූ සිදුවීම වූයේ “ආලෝක” සුනඛයා ගුවන් යානය තුළ මගී අසුනක අසුන්ගෙන සංචාරය කර තිබීමයි. ගුවන් තොටුපළට පැමිණි පසු සුනඛයා සත්ව නිරෝධායන ආයතනයේ නිලධාරීන් වෙත යොමු කෙරුණු අතර, එහිදී ආහාර පාන ලබා දී රුධිර පරීක්ෂණ ඇතුළු සම්පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කරන ලදී. වෙනත් රටවලදී මෙවැනි පරීක්ෂණවලට යම් අකමැත්තක් දක්වා තිබුණද, මෙරට පශු වෛද්‍ය නිලධාරීන්ගේ කාරුණික සැලකිල්ල සහ පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ සමීපත්වය නිසා “ආලෝක” ඉතා සන්සුන්ව පරීක්ෂණවලට මුහුණ දුන් බව ගුවන් තොටුපළ නිලධාරීහු සඳහන් කළහ.
සත්වයා වෙනුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස ගිලන් රථයක් පවා සූදානම් කර තිබූ නමුත්, අවසානයේදී සියලු සෞඛ්‍ය වාර්තා නිසි පරිදි ලැබීමෙන් පසු සුනඛයාද භික්ෂූන් වහන්සේලා සමග බස් රථයකින් ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය. මෙම දූත පිරිස ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා පැවැත්වෙන සාම පා ගමන් සහ ආගමික වැඩසටහන් මාලාවකට සහභාගී වීමට නියමිත අතර, එමගින් ගෝලීය සහජීවනය සහ ආධ්‍යාත්මික පිබිදීම පිළිබඳ පණිවුඩයක් ලොවට ලබා දීමට අපේක්ෂා කෙරේ.














