ගෝලීය කීර්තියට පත් BTS සංගීත කණ්ඩායමේ කළමනාකාරීත්වය දරන HYBE ආයතනයේ සභාපති බැං සි-හ්‍යුක් (Bang Si-hyuk) මහතාට එරෙහිව දකුණු කොරියානු පොලිසිය රඳවා තබා ගැනීමේ වරෙන්තුවක් ඉල්ලා තිබේ. සමාගම කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීමේදී (IPO) සිදු වූ බව කියන නීති විරෝධී මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.
සමාගම ලැයිස්තුගත කිරීමට පෙර මුල් ආයෝජකයින් නොමඟ යවා ඔවුන්ගේ කොටස් තම හිතවතුන් සම්බන්ධ පුද්ගලික කොටස් අරමුදලකට (Private equity fund) විකිණීමට පොළඹවා ඇති බවට බැං මහතාට චෝදනා එල්ල වේ. අදාළ අරමුදල පසුව සිය කොටස් විකිණීමෙන් පසු පූර්ව එකඟතාවයක් මත එහි ලාභයෙන් 30%ක් එනම් වොන් බිලියන 190ක් (ඇමරිකානු ඩොලර් මිලියන 129ක් පමණ) බැං මහතා ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
විමර්ශන හේතුවෙන් ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා ඇති අතර බැං මහතාට ඇමරිකාවට යාමට අවසර දෙන ලෙස ඉල්ලා එරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ද ලිපියක් යොමු කර තිබේ. මෙම පුවතත් සමඟ HYBE සමාගමේ කොටස් අගය 2.9% කින් පමණ පහත වැටී ඇත. බැං සි-හ්‍යුක් මහතා මීට පෙර තමන් කිසිදු වරදක් කර නොමැති බව ප්‍රකාශ කර තිබූ අතර HYBE ආයතනය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.














