එලොන් මස්ක්ගේ SpaceX සමාගම ඉතිහාසයේ වඩාත්ම බලාපොරොත්තු සහගත මූලික කොටස් නිකුතුව (IPO) සඳහා සූදානම් වෙමින්, ප්‍රමුඛ පෙළේ වෝල් ස්ට්‍රීට් විශ්ලේෂකයින් වෙනුවෙන් දින තුනක සංවෘත දොරටු සාකච්ඡා මාලාවක් මෙම සතියේ පවත්වන බව වාර්තා වේ. ටෙක්සාස්හි පිහිටි ස්ටාර්බේස් (Starbase) දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සහ ටෙනසිහි පිහිටි දැවැන්ත දත්ත මධ්‍යස්ථානයේදී මෙම හමුවීම් පැවැත්වෙන බව මේ පිළිබඳ තොරතුරු දන්නා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කොටස් නිකුතුව හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 75ක මුදලක් රැස් කිරීමට SpaceX සමාගම අපේක්ෂා කරන අතර, එය සාර්ථක වුවහොත් ලොව මෙතෙක් පැවැති විශාලතම මූලික කොටස් නිකුතුව ලෙස ඉතිහාසයට එක්වනු ඇත. සමාගමේ විධායක නිලධාරීන් එළඹෙන ජුනි මස අගභාගයේදී කොටස් වෙළෙඳපොළට පිවිසීමට ඉලක්ක කර ඇති අතර, එමගින් සමාගමේ සමස්ත වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.75ක් දක්වා ඉහළ නංවා ගැනීමට සැලසුම් කර තිබේ.
මෙම සුවිශේෂී කොටස් නිකුතුවේ තවත් විශේෂත්වයක් වන්නේ, එහි කොටස්වලින් 30%ක් සාමාන්‍ය සිල්ලර ආයෝජකයින් (Retail investors) වෙනුවෙන් වෙන් කිරීමට එලොන් මස්ක් සැලසුම් කර තිබීමයි. මීට ජාත්‍යන්තර ආයෝජකයින්ටද සහභාගී විය හැකි පරිදි කටයුතු සූදානම් කර ඇති අතර, මෙය ගෝලීය ආයෝජන ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව ඇති කරුණකි. අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන SpaceX, මෙම පියවර හරහා සිය මූල්‍ය ශක්තිය තවදුරටත් තහවුරු කර ගැනීමට අපේක්ෂා කරයි.














