ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කරන තර්ජන සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් හමුවේ කිසිදු ආකාරයක සාකච්ඡාවකට සූදානම් නොමැති බව ඉරානය ප්‍රකාශ කරයි. ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් (Mohammad Bagher Ghalibaf) සිය X ගිණුම හරහා මෙම දැඩි ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.
කථානායකවරයා චෝදනා කරන්නේ වොෂින්ටනය උත්සාහ කරන්නේ සාකච්ඡා මේසය “යටත් වීමේ මේසයක්” බවට පත් කිරීමට බවයි. ඇමෙරිකානු පීඩනය හමුවේ ඉරානය කිසිසේත් නම්‍යශීලී නොවන බවත්, තර්ජන පවතින තාක් සාකච්ඡා සඳහා අවකාශයක් නොමැති බවත් ඔහු අවධාරණය කර ඇත.
නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වුවහොත්, යුද පිටියේදී මෙතෙක් එළිදක්වා නැති නව උපාය මාර්ග භාවිතා කිරීමට ඉරානය සූදානම් බවට ද ඔහු අනතුරු ඇඟවීමක් කර තිබේ. මෙය ඉරාන-ඇමෙරිකානු ආතතියේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගියදා ඉරානයේ නාවික සහ ගුවන් බලය අඩපණ වී ඇති බවට කළ ප්‍රකාශවලින් පසුව ඉරානයෙන් මෙම ප්‍රතිචාරය එල්ල වී ඇත. දෙරට අතර පවතින මෙම වාග් යුද්ධය මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.
















