මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකළ ලවණ බාධකය හේතුවෙන් වගා හානි සිදුවූ ගොවීන් සඳහා වන්දි ලබාදීමේ කටයුතු කඩිනම් කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි. මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය මුසු වීම වැළැක්වීම සඳහා 2019 වසරේදී මෙම ලවණ බාධකය ඉදිකළ අතර, එමගින් අවට වගාබිම් රැසකට බරපතළ හානි සිදු විය.
දික්වැල්ල, කඹුරුපිටිය, කැකනදුර, මඩිහ, මාලිම්බඩ, මැදඋයන්ගොඩ, තලල්ල සහ විල්පිට යන ප්‍රදේශවල වී වගාවට සිදුවූ මෙම හානි වෙනුවෙන් වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා 2026 අයවැය මගින් රුපියල් මිලියන 1,200ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේය. මෙම වන්දි මුදල් ගෙවීම හරහා වසර කිහිපයක් පීඩාවට පත්ව සිටි ගොවීන්ට සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














