ශ්‍රී ලංකා පොලිසිය තුළ පොලිස් බාලදක්ෂ අංශය නිල වශයෙන් ස්ථාපිත කිරීම පසුගියදා පොලිස් මූලස්ථානයේදී උත්කර්ෂවත් අයුරින් සිදුකෙරිණි. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ සංකල්පයක් මත මෙම අංශය ආරම්භ කර ඇති අතර, එමඟින් පොලිස් පවුල්වල දරුවන් සහ පොලිස් සේවය තුළ බාලදක්ෂ ක්‍රියාවලිය ප්‍රචලිත කිරීම අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා මහතා ඇතුළු ජාතික මට්ටමේ කොමසාරිස්වරුන් සහ පුහුණු අධ්‍යක්ෂවරුන් රැසක් සහභාගී විය.
ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, රාජිත ශ්‍රී දමින්ද සහ පොලිස් බාලදක්ෂ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ සම්පත් කුමාර ලියනගේ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මීට එක්ව සිටියහ.
මෙම නව අංශය මඟින් පොලිස් සේවය සහ බාලදක්ෂ ව්‍යාපාරය අතර සබඳතාව ශක්තිමත් කරමින් විනයගරුක තරුණ පරපුරක් බිහිකිරීමට දායකත්වයක් සැපයෙනු ඇත.














