දිඹුල පතන පොලිස් වසමට අයත් කොටගල, මේ ෆීල්ඩ් වතුයායේ පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවන් අද (අප්‍රේල් 21) දින දැඩි විරෝධතාවයක නිරත විය. එහිදී වතු නිලධාරීන් පිරිසකට ගොම ප්‍රහාරයක් එල්ල කර ඔවුන්ව කාර්යාලය තුළ කොටු කර තැබීමට කම්කරුවන් පියවර ගෙන තිබේ.
වතුයායේ මුරකරුගේ සේවය තාවකාලිකව නතර කිරීම සහ වත්තේ පවතින ගැටලු සාකච්ඡා කිරීමට යන කම්කරුවන්ගේ වැඩ තහනම් කිරීමට පාලන අධිකාරිය කටයුතු කිරීම මෙම විරෝධතාවයට ප්‍රධාන හේතුව වී තිබේ. සහකාර වතු අධිකාරීවරුන් දෙදෙනෙකු සහ ක්ෂේත්‍ර නිලධාරියෙකු දළු මඩුවේදී සාකච්ඡාවක නිරත වෙමින් සිටියදී කම්කරුවන් පිරිසක් ඔවුන්ට ගොම ප්‍රහාරයක් එල්ල කර ඇත.
පසුව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා මැදිහත් වී දෙපාර්ශවය අතර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කළ නමුත් එය එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. වතු පාලන අධිකාරිය මාරු කරන තෙක් තමන් වැඩ වර්ජනය අත්නොහරින බව වතු කම්කරුවන් අවධාරණය කරයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට කැඳවා ඇති අතර වතු කාර්යාලය අවට තවමත් උණුසුම්කාරී ස්වභාවයක් පවතී.















