SpaceX සමාගම මූලික කොටස් නිකුතුවක් (IPO) සඳහා සූදානම් වුවද, එහි පූර්ණ පාලන බලය සහ තීරණ ගැනීමේ අයිතිය නිර්මාතෘ එලොන් මස්ක් සහ අභ්‍යන්තර නිලධාරීන් පිරිසක් සන්තකයේ තබා ගැනීමට සැලසුම් කර ඇති බව රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි. රහසිගතව ඉදිරිපත් කර ඇති කොටස් නිකුතු වාර්තාවලට අනුව, මස්ක් ඇතුළු පිරිසට හිමිවන විශේෂ ඡන්ද බලය සහිත කොටස් (Super-voting shares) හරහා පොදු ආයෝජකයින්ට වඩා වැඩි බලයක් ඔවුන් සතු වනු ඇත. මේ අනුව, සමාගම ප්‍රසිද්ධ ලැයිස්තුගත සමාගමක් බවට පත්වුවද, එහි ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රධාන තාක්ෂණික නිලධාරී සහ සභාපති ලෙස මස්ක් තවදුරටත් කටයුතු කරනු ඇත.
මෙම වාර්තාවට අනුව, 2025 වසර අවසානය වන විට SpaceX සමාගම සතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 24.8ක මුදල් සංචිතයක් සහ ඩොලර් බිලියන 92ක දේපළ වත්කම් පවතී. විශේෂයෙන්ම Starlink චන්ද්‍රිකා සන්නිවේදන සේවාවෙන් ලැබෙන ආදායම ඉහළ යාම හේතුවෙන් xAI වැනි අනෙකුත් ව්‍යාපෘතිවල සිදුවන පාඩුව පියවා ගැනීමට සමාගම සමත් වී ඇති බව ද සඳහන් වේ. මස්ක්ගේ අසීමිත පාලන බලය පිළිබඳව ආයෝජකයින් අතර විවිධ අදහස් මතු වුවද, SpaceX හි අනාගත දැක්ම තවදුරටත් ඔහුගේ පෞද්ගලික තීරණ මත මෙහෙයවනු ඇති බව මෙමගින් තහවුරු වේ.














