ගූගල් සමාගම සිය Gemini කෘත්‍රිම බුද්ධි මෙවලම සඳහා ‘Skills’ නම් නව විශේෂාංගයක් Chrome බ්‍රවුසරයට එක් කර තිබේ. මෙමඟින් පරිශීලකයින්ට තමන් නිතර භාවිත කරන උපදෙස් (Prompts) සුරැකීමට සහ වෙනත් ඕනෑම වෙබ් පිටුවකදී ඒවා ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබේ.
පරිශීලකයෙකුට Gemini හරහා කිසියම් කාර්යයක් සිදු කර එය සාර්ථක නම්, ‘Save’ බොත්තම එබීමෙන් එය ‘Skill’ එකක් ලෙස සුරැකිය හැක. පසුව Gemini පැනලය තුළ ‘/’ ලකුණ ටයිප් කිරීමෙන් හෝ Skills මෙනුව හරහා එම කාර්යය නැවත කැඳවිය හැක. උදාහරණයක් ලෙස, වෙබ් පිටුවක් සාරාංශ කිරීම හෝ විවිධ ටැබ් (Tabs) කිහිපයක තොරතුරු සංසන්දනය කිරීම වැනි දෑ මේ හරහා ඉතා වේගයෙන් සිදු කළ හැක.
පරිශීලකයින්ට පහසුව පිණිස ගූගල් විසින් පෙරනිමි ‘Skills Library’ එකක් ද හඳුන්වා දී ඇත. එහි ආහාර සැලසුම් කිරීම (Meal planning) හෝ තෑගි තෝරාගැනීම (Gift concierge) වැනි දේ සඳහා සූදානම් කළ ආකෘති (Templates) ඇතුළත් වේ. උදාහරණයක් ලෙස, ‘Meal planner’ ස්කිල් එක මඟින් වට්ටෝරු පිටුවක ඇති තොරතුරු කාලරාමුවක් සහිත ඉන්ෆොග්‍රැෆික් එකක් බවට පත් කළ හැකි අතර, ‘Gift concierge’ මඟින් විවෘතව ඇති වෙබ් පිටු කිහිපයක ඇති භාණ්ඩවල මිල සහ ගුණාත්මකභාවය සැසඳිය හැක.
මෙමඟින් Gemini යනු හුදෙක් ප්‍රශ්නවලට පිළිතුරු දෙන මෙවලමක් පමණක් නොව, බ්‍රවුසරය තුළම පවතින කාර්යක්ෂම සහායකයෙකු (Work assistant) බවට පත් කිරීම ගූගල්හි අරමුණයි. යම් සංකීර්ණ තාක්ෂණික කරුණක් සරල චිත්‍රකතාවක් (Comic) ලෙස විස්තර කිරීම වැනි තමන්ටම ආවේණික ‘Skills’ නිර්මාණය කිරීමට ද පරිශීලකයාට මෙහිදී අවස්ථාව ලැබේ.













