ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෝටර් රථ සහ වානේ ක්ෂේත්‍ර සඳහා පනවා ඇති ආනයනික බදු (Tariffs), ඇමෙරිකා-මෙක්සිකෝ-කැනඩා වෙළෙඳ ගිවිසුම (USMCA) ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ද නොවෙනස්ව පවතිනු ඇති බව ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ජේමියන් ග්‍රියර් (Jamieson Greer) ප්‍රකාශ කර තිබේ. මෙක්සිකෝ සිටි නුවරදී එරට ව්‍යාපාරික නායකයින් සහ රජයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙහිදී ඇමෙරිකානු නියෝජිතයින් යෝජනා කර ඇත්තේ මෝටර් රථ නිෂ්පාදනයේදී භාවිත වන ප්‍රධාන උපාංගවලින් සියයට 100ක්ම උතුරු ඇමෙරිකානු කලාපයෙන් සපයා ගැනීම අනිවාර්ය කළ යුතු බවයි. USMCA ගිවිසුම පිළිබඳ නිල සමාලෝචන කටයුතු ජූලි 1 වනදායින් අවසන් වීමට නියමිත අතර, ඊට අදාළ තීරණාත්මක සාකච්ඡා මැයි 25 වනදා ආරම්භ වීමට නියමිතය. මෙම දැඩි බදු ප්‍රතිපත්තිය හේතුවෙන් මෙක්සිකෝවේ අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.















