සති හතක් පුරා ඇදී යන ඇමෙරිකා-ඉරාන යුද්ධය මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා (Daniel Ortega), ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. ට්‍රම්ප්ගේ මානසික ස්ථාවරත්වය පිළිබඳව ඔහු මෙහිදී ප්‍රශ්න කර ඇත.
නිකරගුවාවේ මැනගුවා නුවර පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඔර්ටේගා ප්‍රකාශ කළේ, ට්‍රම්ප් යුද්ධය මෙහෙයවන ආකාරය තමන්ට රිසි දේ කළ හැකි යැයි සිතන, සිහිය විකෘති වූවෙකුගේ ක්‍රියාවක් බඳු බවයි. “ඔහුගේ මානසික තත්ත්වය ස්ථාවර නැහැ. අපේ භාෂාවෙන් කියනවා නම් ඔහු නිවැරදි සිහියෙන් නෙවෙයි ඉන්නේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. ඇමෙරිකාව විසින් ඔර්ටේගාගේ පාලනය “ආඥාදායකත්වයක්” ලෙස හංවඩු ගැසීම නිසා වොෂින්ටනය සහ නිකරගුවාව අතර සබඳතාව කලක සිටම පළුදු වී පවතී.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා සිය ‘Truth Social’ ගිණුමේ පළ කරන ලද AI තාක්ෂණයෙන් නිපදවූ ඡායාරූපයක් ද ඔර්ටේගාගේ විවේචනයට ලක් විය. එම ඡායාරූපයේ ට්‍රම්ප් ජේසුස් වහන්සේ ලෙස පෙනී සිටිමින් රෝගියෙකු සුව කරන අයුරු නිරූපණය විය. “ඇත්තටම ඔහු කී දෙනෙක්ව සුව කරලා තියෙනවද? ඔහු කී දෙනෙක්ව මරා දමා තිබේද කියා ඇමෙරිකානු ජනතාව සහ ලෝකයා ඔහුගෙන් ප්‍රශ්න කරනු ඇති,” යනුවෙන් නිකරගුවා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
හෙටින් අවසන් වීමට නියමිත සටන් විරාමයෙන් පසු යුද්ධය නැවත ආරම්භ වීමේ අවදානමක් පවතින අතර, ඉරානය පවසන්නේ තර්ජන හමුවේ තමන් සාකච්ඡා සඳහා සූදානම් නොමැති බවයි.














