යුක්‍රේනයට ලබා දීමට යෝජිත යුරෝ බිලියන 90ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 105.94ක පමණ) දැවැන්ත ණය ආධාරය සම්බන්ධයෙන් හෙට (අප්‍රේල් 22) දිනයේදී සාධනීය තීරණයක් ලැබෙනු ඇතැයි යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කල්ලාස් (Kaja Kallas) අද ප්‍රකාශ කළාය. ලක්සම්බර්ග්හි පැවැත්වෙන යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ, රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා යුක්‍රේනයට මෙම මූල්‍ය ආධාරය මේ මොහොතේ අත්‍යවශ්‍ය වී ඇති බවයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම ණය මුදල සඳහා මූලික එකඟතාවය ලැබී තිබුණද, යුක්‍රේනයට එරෙහි දැඩි ස්ථාවරයක සිටි හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන්ගේ බලපෑම මත එය ප්‍රමාද විය. කෙසේ වෙතත්, මේ මස මුලදී හංගේරියාවේ පැවති මැතිවරණයෙන් ඕර්බන් පරාජයට පත්වීමත් සමඟ මෙම ණය මුදල නිදහස් කිරීමේ මාවත විවෘත වී තිබේ. රුසියාවට යුක්‍රේනය පරාජය කළ නොහැකි බවට ලබා දෙන ප්‍රබල පණිවිඩයක් ලෙස ද මෙම මූල්‍ය සහයෝගීතාවය වැදගත් වන බව කල්ලාස් වැඩිදුරටත් අවධාරණය කළාය.














