හංගේරියාවේ හිටපු රජය විසින් LGBTQ අන්තර්ගතයන් තහනම් කිරීමට හෝ සීමා කිරීමට පනවා තිබූ නීති මගින් යුරෝපා සංගම් නීතිය (European Law) උල්ලංඝනය වී ඇති බව යුරෝපීය අධිකරණය (ECJ) අද (21) තීන්දු කළේය. සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික (Transgender) පුද්ගලයින් සමාජය තුළ කොන් කිරීමට සහ අපකීර්තියට පත් කිරීමට මෙම නීති හේතු වී ඇති බව අධිකරණය පෙන්වා දෙයි.
මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් වන්නේ හංගේරියාවේ දේශපාලන පෙරළියක් සිදුව ඇති මොහොතක වීම විශේෂත්වයකි. වසර 16ක් පුරා එරට පාලනය කළ වික්ටර් ඕර්බන් පසුගිය අප්‍රේල් 12 වනදා පැවති මැතිවරණයෙන් පරාජයට පත් වූ අතර, නව නායක පීටර් මැග්‍යාර් (Peter Magyar) යටතේ හංගේරියාවේ අනාගත සමාජ ප්‍රතිපත්ති කෙබඳු වනු ඇතිද යන්න විමසීමට මෙම අධිකරණ තීන්දුව මනා පරීක්ෂණයක් වනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පවසති. මෙම නීති ඉවත් කරන ලෙස යුරෝපා සංගමය දිගින් දිගටම හංගේරියාවට බලපෑම් කළ අතර, මෙම අධිකරණ තීන්දුවත් සමඟ නව රජයට එම නීති සංශෝධනය කිරීමට සිදු වනු ඇත.















