ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ පවතින අඩුපාඩු පිළිබඳව සිය කනස්සල්ල පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් දොළොස් දෙනෙකු විසින් පැලවත්ත ප්‍රධාන කාර්යාලය වෙත ලිපි දොළහක් භාරදී ඇති බව දේශපාලන වාර්තා සඳහන් කරයි.
අදාළ මැති ඇමතිවරුන් විසින් වෙන වෙනම ඉදිරිපත් කරන ලද මෙම ලිපි මගින් පෙන්වා දී ඇති වැරදි නිවැරදි නොවන්නේ නම්, තමන් දරන මන්ත්‍රී ධුර හෝ සෙසු තනතුරුවලින් ඉවත්වීමට සූදානම් බව ඇතැම් පිරිස් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, පක්ෂයට ලැබුණු ජනවරම නොසලකා හරිමින් කිසිදු නිලධාරියෙකුට හෝ මන්ත්‍රීවරයෙකුට තනතුරුවලින් ඉවත්වීමට අවසර නොදීමට ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තීරණය කර තිබේ.
අනාවරණය වන තොරතුරුවලට අනුව, මෙම ලිපි ඉදිරිපත් කළ පිරිස කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරන අතර ජාතික ලැයිස්තුවෙන් පත් වූ කිහිප දෙනෙකු ද ඒ අතර වේ. මොවුන්ගෙන් බහුතරය ජනතා විමුක්ති පෙරමුණේ සෘජු සාමාජිකයන් නොවන, ජාතික ජන බලවේගය (මාලිමාව) සමඟ එක්වූ වෘත්තිකයන් බව ද වාර්තා වේ. මේ වන විට ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායමක් විසින් මෙම 12 දෙනාගේ ක්‍රියා කලාපය පිළිබඳව සමීප අධීක්ෂණයක් ආරම්භ කර ඇත.














