යුක්රේන ආක්‍රමණය හමුවේ පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක සහ යුද වියදම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති සිය ආර්ථිකයේ සැබෑ තත්ත්වය සැඟවීමට රුසියාව දත්ත හැසිරවීම් සිදුකර ඇති බව ස්වීඩන හමුදා බුද්ධි අංශය (MUST) අද (21) අනාවරණය කළේය.
රුසියාවේ නිල දත්ත මගින් දළ දේශීය නිෂ්පාදිතය (GDP) පහත වැටීම සහ කාර්මික නිෂ්පාදනය දුර්වල වීම පෙන්වන නමුත්, ඒවා ඉදිරිපත් කර ඇති ආකාරය අනුව රුසියානු ආර්ථිකය සැබෑ තත්ත්වයට වඩා ශක්තිමත් බවක් ලෝකයාට පෙනී යන බව ස්වීඩනය පවසයි. රුසියාව ප්‍රකාශ කරනවාට වඩා වැඩි උද්ධමනයකින් සහ අයවැය හිඟයකින් එරට පීඩා විඳින බව බුද්ධි අංශ පෙන්වා දෙයි.
තෙල් මිල ඉහළ මට්ටමක පැවතියද, රුසියානු අයවැය හිඟය පියවා ගැනීමට නම් බොරතෙල් බැරලයක මිල වසරක් පුරා ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා පැවතිය යුතු බව MUST වාර්තාව අවධාරණය කරයි. මේ හරහා පෙනී යන්නේ රුසියානු ආර්ථිකය දැඩි බැංකු අවදානමකට සහ ණය බරකට ලක්ව ඇති බවයි.














