තුර්කියේ ‘ඩොරුක් මැඩෙන්සිලික්’ (Doruk Madencilik) පතල් සමාගමට අයත් කම්කරුවන් 110 දෙනෙකු පමණ සිය නොගෙවූ වැටුප් සහ වන්දි ඉල්ලා අන්කාරා අගනුවර බලා සිදුකළ පාගමනකදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මාස පහක කාලය තුළ තමන්ට හිමි විය යුතු වැටුප්, සේවා නියුක්තයන්ගේ වන්දි සහ අනෙකුත් දීමනා ඉල්ලා මෙම පතල් කම්කරුවන් අප්‍රේල් 11 වනදා එස්කිසෙහීර් (Eskişehir) ප්‍රදේශයේ සිට බලශක්ති අමාත්‍යාංශය දක්වා මෙම පාගමන ආරම්භ කර තිබුණි. ස්වාධීන පතල් කම්කරු සංගමයේ (Independent Mine Workers’ Union) නායකත්වයෙන් පැමිණි මොවුන් අමාත්‍යාංශය ඉදිරිපිට උපවාසයක් ද ආරම්භ කර තිබේ.
අද (21) උදෑසන අමාත්‍යාංශය වෙත ළඟා වීමට උත්සාහ කළ අවස්ථාවේදී වෘත්තීය සමිති නායක ගෝකායි චකීර් (Gökay Çakır) සහ සංවිධායක බෂාරන් අක්සු (Başaran Aksu) ඇතුළු පතල් කම්කරුවන් 31 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පතල් කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ සේවා ස්ථාන ආරක්ෂාව පිළිබඳ ගැටලු තුර්කිය තුළ මේ වන විට දැඩි කතාබහට ලක්වෙමින් පවතී.














