අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින උණුසුම් තත්ත්වය සමනය කර ගැනීම සඳහා වන නවතම සටන් විරාම සාකච්ඡා වටය හෙට (අප්‍රේල් 22) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී ආරම්භ වීමට නියමිතය. දැනට දෙපාර්ශවය අතර ක්‍රියාත්මක වන සති දෙකක තාවකාලික සටන් විරාමය අවසන් වීමට ආසන්න වෙමින් පවතින මොහොතක මෙම තීරණාත්මක හමුව සංවිධානය කර ඇත.
ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කරන පරිදි, කලාපීය ආරක්ෂක නිලධාරීන් මෙම හමුව ස්ථිර කර තිබේ. සටන් විරාමය තවදුරටත් දීර්ඝ නොකළහොත් යළිත් හමුදාමය ක්‍රියාමාර්ග සහ බෝම්බ ප්‍රහාර ආරම්භ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (21) අනතුරු ඇඟවීමක් කර තිබීම හේතුවෙන් මෙම සාකච්ඡා වටය ඉතා වැදගත් වේ. ඉස්ලාමාබාද් සාකච්ඡා හරහා වඩාත් ස්ථිරසාර සාම එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවය උත්සාහ කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.














