කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ රූගත කෙරෙන ඉන්දීය චිත්‍රපටයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රඟපෑමට සූදානම්ව සිටි පුද්ගලයකු හදිසියේ ඇද වැටී මියගොස් තිබේ. අද (අප්‍රේල් 21) රාත්‍රියේ සිදුවූ මෙම පුවත කුරුඳුවත්ත පොලිසිය විසින් තහවුරු කරන ලදී.
මියගොස් ඇත්තේ මාතලේ, කළුදෑවල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අලගර් කරප්පු සාමි නමැති අයෙකි. පොලිස් විමර්ශනවලට අනුව, ඔහු ඉන්දීය සුපිරි නළු සූරියා (Suriya) සහ ට්‍රිෂා ක්‍රිෂ්ණන් (Trisha Krishnan) රංගනයෙන් දායක වන චිත්‍රපටයක දර්ශනයක් සඳහා සූදානම් වෙමින් සිට ඇත.
නාන කාමරයක් තුළ ඇද වැටී සිටි ඔහුව එහි සිටි පිරිස වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














