ඉන්දීය නාවික හමුදාවට අයත් ‘ඉන්ස් නිරේක්ෂක්’ (INS NIREEKSHAK) යුද නෞකාව විශේෂ පුහුණු වැඩසටහනක් සඳහා අද (අප්‍රේල් 21) උදෑසන කොළඹ වරායට සේන්දු විය. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාන්විතව පිළිගනු ලැබූ මෙම නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ද්විපාර්ශ්වික පුහුණු අභ්‍යාස මාලාවකට එක්වීමට නියමිතය.
‘Diving Support Vessel’ වර්ගයට අයත් මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලය තුළ ප්‍රධාන වශයෙන් ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක් පවත්වනු ඇත. දෙරටේ නාවික හමුදා කිමිදුම් අංශ අතර වෘත්තීය අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ශක්‍යතා වර්ධනය කර ගැනීම මෙහි මූලික අපේක්ෂාවයි.
කොමාණ්ඩර් සයිලේෂ් කුමාර් ත්‍යාගි මහතාගේ අණදෙන නිලධාරීත්වයෙන් යුත් මෙම නෞකාවේ නැව් මුළුව, දෙරට අතර සහයෝගිතාව වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කර ඇති විශේෂ සුහද වැඩසටහන් කිහිපයකට ද සහභාගී වේ. මීට අමතරව ඔවුන් දිවයිනේ ඓතිහාසික හා සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක නිරීක්ෂණ සංචාරයන්හි ද නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.













