ප්‍රමාණවත් මූල්‍ය ස්වාරක්ෂක සහ විදේශ සංචිත නොමැති වුවහොත් ශ්‍රී ලංකාව ඉදිරියේ දී තවදුරටත් දරුණු සාර්ව ආර්ථික අස්ථාවරත්වයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම වාර්ෂික ආර්ථික විවරණය මගින් අවධාරණය කරයි. දේශීය මෙන්ම ගෝලීය වශයෙන් මතුවන අනපේක්ෂිත කම්පන හේතුවෙන් ඇතිවන ඉහළ අවිනිශ්චිතතාව දැන් ‘නව සාමාන්‍යය‘ බවට පත්ව ඇති අතර එමගින් මෙරට ගෘහ ඒකකවල පරිභෝජන සහ ඉතිරි කිරීමේ තීරණවලට මෙන්ම ව්‍යාපාරික ආයෝජනවලට ද දැඩි බාධා එල්ල කරමින් රටේ සමස්ත වර්ධන විභවය අඩාල වී ඇති බව මෙහිදී පෙන්වා දෙයි. විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය අවකාශය සීමිත වූ පසුබිමක මෙවැනි කම්පන හරහා උද්ධමනය අස්ථාවර වීම සහ ආර්ථික වර්ධනය කඩා වැටීම වළක්වා ගැනීම අතිශය අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව ඇත.
ඉදිරි වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් දියුණු වන තාක්ෂණය, භූ-දේශපාලනික බෙදීම්, දේශගුණික විපර්යාස සහ ඉහළ යන ආරක්ෂණවාදය වැනි සාධක හේතුවෙන් අනාගතය තවදුරටත් අවදානම් සහගත වනු ඇති බව මහ බැංකු වාර්තාව මගින් පුරෝකථනය කරනු ලබයි. දිට්වා සුළි කුණාටුව වැනි ස්වභාවික විපත් සහ ගෝලීය වසංගත කාලයේ ලද අත්දැකීම් අනුව ප්‍රමාණවත් මූල්‍ය සංචිත පවත්වා ගැනීම සහ විදේශ ස්වාරක්ෂක ගොඩනැගීම ආර්ථිකය නිසි ලෙස හසුරුවා ගැනීමට ඇති එකම මග ලෙස සැලකේ. මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ජනගහනයේ අවදානමට ලක්විය හැකි කොටස් වෙත අසමානුපාතිකව වැඩි පීඩනයක් එල්ල වීම නිසා ආර්ථික විෂමතාවන් තවදුරටත් උග්‍ර වීමේ බරපතළ අවදානමක් ද මෙහිදී අනාවරණය කර ඇත.
මෙම අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා රක්ෂණය වැනි අවදානම් බෙදාගැනීමේ යාන්ත්‍රණ ප්‍රවර්ධනය කිරීම සහ ආපදා සඳහා පූර්ව සූදානම ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කර්තව්‍යයක් ලෙස රජයට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට යෝජනා කර තිබේ. ඒ අතරම සමාජයේ වඩාත් පීඩිත කණ්ඩායම් ආරක්ෂා කර ගැනීම සඳහා මැනවින් ඉලක්කගත කළ නම්‍යශීලී සමාජ ආරක්ෂණ ජාලයන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙම වාර්තාව මගින් අවධාරණය කරනු ලබයි. අවසාන වශයෙන් පවතින අර්බුද හමුවේ නොසැලී සිටීමට නම් හුදු සහන ලබා දීමෙන් ඔබ්බට ගොස් ආර්ථිකය තුළ ශක්තිමත් ස්වාරක්ෂක ආරක්ෂණ පවුරක් ගොඩනැගීම අද දවසේ අනිවාර්ය අවශ්‍යතාවකි.












