රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාරවලදී භාවිත කරන මිසයිල සහ ඩ්‍රෝන යානා, අක්‍රිය කර ඇති චර්නොබිල් (Chornobyl) න්‍යෂ්ටික බලාගාරයට ඉතා ආසන්න ගුවන් පථ ඔස්සේ ගමන් කරවන බව යුක්රේන රජය ප්‍රථම වරට රොයිටර් පුවත් සේවයට හෙළි කර තිබේ. මෙමගින් බරපතල න්‍යෂ්ටික අනතුරක් සිදුවීමේ දැඩි අවදානමක් මතු වී ඇති බව යුක්රේන නීතිපති රුස්ලාන් ක්‍රව්චෙන්කෝ (Ruslan Kravchenko) පෙන්වා දෙයි.
ලොව දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනය ලෙස සැලකෙන 1986 චර්නොබිල් අනතුරට වසර 40ක් සපිරෙන සැමරුම එළඹෙන ඉරිදාට (අප්‍රේල් 26) යෙදී තිබියදී මෙම තොරතුරු අනාවරණය වීම විශේෂත්වයකි. යුක්රේන බලධාරීන් පවසන පරිදි, පසුගිය වසර දෙකක කාලය තුළ රුසියානු ප්‍රහාරක අවි මෙලෙස න්‍යෂ්ටික මධ්‍යස්ථාන අසලින් ගමන් කළ අවස්ථා දුසිම් ගණනක් වාර්තා වී තිබේ. මීට අමතරව රුසියානු මිසයිල තුනක් යුක්රේනයේ ඛ්මෙල්නිට්ස්කි (Khmelnytskyi) න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට ද පතිත වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තමන් ඉලක්ක කරන්නේ යුක්රේනයේ හමුදා මධ්‍යස්ථාන පමණක් බවයි. නමුත් න්‍යෂ්ටික බලාගාර වැනි සංවේදී ස්ථාන අසල මෙලෙස යුධ ක්‍රියාකාරකම් සිදුවීම කලාපීය පමණක් නොව ගෝලීය ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් බව යුක්රේනය අවධාරණය කරයි. යුද්ධය හේතුවෙන් පවතින අස්ථාවරත්වය මධ්‍යයේ, චර්නොබිල් වැනි ස්ථානයක යළිත් කාන්දු වීමක් සිදු වුවහොත් එය පාලනය කිරීම අතිශය දුෂ්කර වනු ඇති බවට විද්‍යාඥයෝ ද අනතුරු අඟවති.














