පසුගිය නොවැම්බර් මාසයේදී හොංකොං ඉතිහාසයේ දරුණුතම ගිනි අනතුරකට මැදි වූ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට, තම විනාශ වූ නිවාස වෙත ගොස් ඉතිරිව ඇති බඩුබාහිරාදිය ලබා ගැනීමට රජය විසින් මේ සතියේ අවසර ලබා දී තිබේ. පුද්ගලයන් 168 දෙනෙකුට මරු කැඳවූ මෙම බිහිසුණු ඛේදවාචකයෙන් පසු බොහෝ පිරිසක් පළමු වරට සිය නිවෙස් කරා පැමිණියේ දැඩි සංවේගය සහ කම්පනය මධ්‍යයේ ය.
34 හැවිරිදි ඩෝර්ස් චියැං (Dorz Cheung) එවැනි එක් පදිංචිකරුවෙකි. ගින්නෙන් සම්පූර්ණයෙන්ම පිළිස්සී අළු වී ගිය සිය නිවසට ඇතුළු වූ ඔහුට දැනී ඇත්තේ හුස්ම හිරවන සුලු කම්පනයකි. “මගේ සිත තුළ කෝපය සහ කනගාටුව අතර ලොකු සටනක් තියෙනවා,” ඔහු පවසයි. විනාශ වූ නිවසේ තිබී ඔහුට සොයාගත හැකි වී ඇත්තේ තමා දිනාගත් ක්‍රීඩා පදක්කම් කිහිපයක්, පවුලේ ඡායාරූප සහ ඔහුගේ මිත්තණිය විසින් වසර 50කට පෙර ලියන ලද බයිබල් සටහන් පොත් කිහිපයක් පමණි.
ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් ටවර් (Grenfell Tower) අනතුරටත් වඩා බිහිසුණු වූ මෙම ගින්නෙන් නේවාසික ගොඩනැගිලි හතක් සම්පූර්ණයෙන්ම විනාශ විය. අළු සහ දූවිල්ලෙන් පිරුණු පියානෝවක් සහ පිළිස්සී ගිය ජනේල හරහා ඇතුළට එන තෙතමනය සහිත වාතය, හොංකොං වැසියන්ට මෙම ඛේදවාචකය කෙතරම් ගැඹුරින් බලපා ඇත්ද යන්න මොනවට කියාපායි. මෙම අමිහිරි මතකයන් අතරින් වුවද තමාට ඉතිරිව ඇති සුළු හෝ මතකයන් අහුලාගන්නා චියැං, මෙම ඛේදවාචකය තමා වඩාත් ශක්තිමත් මිනිසෙකු කරනු ඇතැයි බලාපොරොත්තු පළ කරයි.













