ජපානය තුළ සරම්ප (Measles) රෝගය වැළඳුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වසරේ මුල් මාස කිහිපය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජපාන සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය පවසයි. අප්‍රේල් මස මුල වන විට වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 299ක් වන අතර, එය පසුගිය වසරේ මුළු කාලය තුළම වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව (265) දැනටමත් ඉක්මවා ගොස් තිබේ. අප්‍රේල් 12 වැනිදායින් අවසන් වූ සතිය තුළ පමණක් දිවයින පුරා වෛද්‍ය ආයතනවලින් සරම්ප රෝගීන් 56 දෙනෙකු වාර්තා වී ඇත.
ප්‍රාන්ත මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ටෝකියෝ නගරයෙනි (108). මීට අමතරව කනගාවා (31), කගෝෂිමා (28), චීබා සහ අයිචි (23 බැගින්) යන ප්‍රාන්තවලින් ද වැඩි වශයෙන් රෝගීන් වාර්තා වේ. සරම්ප යනු වාතය මගින් ඉතා වේගයෙන් පැතිරෙන බෝවන රෝගයක් වන අතර අධික උණ, සමේ පලු දැමීම සහ මොළයේ ආසාදන (Encephalitis) වැනි බරපතළ සංකූලතා මින් ඇති විය හැක. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත් ලබා ගන්නා ලෙස එරට සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.














