ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ (Sir Vivian Richards Stadium) පැවැති බටහිර ඉන්දීය කොදෙව් දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගයක්, තණතීරුවේ පවතින අනාරක්ෂිත භාවය හේතුවෙන් අතරමග අත්හැර දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ලීවර්ඩ් අයිලන්ඩ්ස් (Leeward Islands) සහ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ කණ්ඩායම් අතර පැවැති මෙම තරගයේ තෙවන දිනයේදී, පිතිකරු ජෙරමියා ලුවීගේ (Jeremiah Louis) හිස් වැස්මේ පන්දුව වැදී ඔහු රෝහල්ගත කිරීමට සිදු වීම මෙම තීරණයට හේතු විය.
වේග පන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස් (Jayden Seales) යොමු කළ පන්දුවක් තණතීරුව මත අසාමාන්‍ය ලෙස ඉපිලී විත් ලුවීගේ හිසෙහි වැදුණු අතර, ඉන් දැඩි කෝපයට පත් ඔහු සිය හිස්වැස්මට පයින් ගසමින් පිටියෙන් ඉවත්ව යන අයුරු දක්නට ලැබුණි. පසුව කරන ලද පරීක්ෂණවලදී තණතීරුව ක්‍රීඩා කිරීමට නුසුදුසු සහ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව තීරණය විය. ඒ අනුව තරගය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට විනිසුරුවන් පියවර ගත්හ. ලබන මැයි 17 වනදා මෙම තරගාවලියේ අවසන් මහා තරගය ද මෙම ක්‍රීඩාංගණයේම පැවැත්වීමට නියමිත බැවින්, එහි තණතීරුව යළි යථා තත්ත්වයට පත් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විශේෂ අවධානයක් යොමු කර තිබේ.












