විදේශ රැකියා සිහිනය හඹායන දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අතරින් තෝරාගත් පිරිසකට අද දිනය ඔවුන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත්ව තිබේ. රටක් ලෙස අප මුහුණ දෙන ආර්ථික අභියෝග හමුවේ ස්ථාවර අනාගතයක් සොයා යන මෙම ගමන හුදෙක් ගුවන් ගමනක්ම පමණක් නොව, දැවැන්ත වගකීමක් සහ ජාත්‍යන්තර අවස්ථාවක් උදාකර ගැනීමක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවති විශේෂ හමුවකදී, තරුණ තරුණියන් රැසකගේ දෑස්වල බලාපොරොත්තු දල්වමින් එම තීරණාත්මක නිල පියවර තබා අවසන්ය.
IM Japan තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන යටතේ ජපානය බලා පිටත්ව යන 62 වන පුහුණුලාභී කණ්ඩායම සඳහා අවසන් දැනුවත් කිරීම සහ ගුවන් ටිකට්පත් ප්‍රදානය අද දින සාර්ථකව නිම වූ අතර, මෙම කණ්ඩායම අදම ජපානය බලා විදේශගත වීමට නියමිතව ඇත. 2018 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා සාත්තු සේවා, ඉදිකිරීම්, කෘෂිකර්ම සහ මෝටර් රථ කාර්මික වැනි ක්ෂේත්‍ර රැසක නිපුණතාවය ලැබූ 667 දෙනෙකු දැනටමත් ජපානයේ සේවය කරමින් සිටින අතර, අද පිටත්ව යන පිරිසත් සමග 2025 වසර තුළ පමණක් විදේශගත වූ සංඛ්‍යාව 144 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම අවස්ථාව ශ්‍රී ලාංකේය ශ්‍රම බලකායට ජාත්‍යන්තර තාක්ෂණික දැනුම සහ ඉහළ වැටුප් සහිත රැකියා වෙළඳපොළක් විවර කරනවා සේම, මව්බිමට විදේශ විනිමය ගෙන එන ප්‍රබල ශක්තියක් බවට ද පත්වනු ඇත. ජපානය වැනි විනයගරුක සහ දියුණු රටක තාක්ෂණික පුහුණුව ලැබීමෙන් පසු මෙම තරුණ පිරිස යළි මෙරටට රැගෙන එන වටිනා අත්දැකීම් සමුදාය රටේ අනාගත සංවර්ධනයට සෘජුවම දායක වනු නොඅනුමානය. ඔබේ උත්සාහය සහ කැපවීම තුළින් ලෝකය දිනන්නට ලැබෙන මෙවන් අවස්ථා මග නොහැර ප්‍රයෝජනයට ගැනීම සැබවින්ම අගනා ආයෝජනයකි.













