ලෝක සාමය සෙවීමට පෙර සෑම පුද්ගලයෙකුම තමන්ගේ නිවස තුළ සාමය ඇති කරගත යුතු බව ලෝක සාමය වෙනුවෙන් පා ගමනක නිරත වන වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරති. උන්වහන්සේ මේ බව කියා සිටියේ ‘‘ලෝකයේ සාමය වෙනුවෙන් ඇවිදීම‘‘ යන තේමාව යටතේ ගෝලීය සාම පා ගමන ආරම්භ කිරීමට පෙර ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථානයේ අද (22) අලුයම පැවැති විශේෂ උත්සවයකදීය. බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම තුළින් සාමයේ පණිවිඩය ලොවට ගෙන යන පඤ්ඤාකර හිමියන් එහිදී අවධාරණය කළේ වෛරය, ක්‍රෝධය සහ ඊර්ෂ්‍යාව තුරන් කර තමන්ගේ නිවස තුළ සාමය ඇති කර ගැනීමෙන් මුළු ලෝකයටම සාමය උදා කළ හැකි බවයි.
එමෙන්ම සෑම කටයුත්තකදීම මෙන්ම හුස්ම ගැනීම පවා නිසි අවබෝධයෙන් හා සිහියෙන් යුතුව සිදු කිරීමේ වැදගත්කම උන්වහන්සේ පෙන්වා දුන්හ. තරහක් හෝ වෛරයක් ඇතිවන සෑම මොහොතකම එය සාමය උදෙසා පාලනය කර ගැනීමටත්, අන් අය කරන දේ පිළිබඳව අනවශ්‍ය ලෙස තරහ නොගෙන සිටීමටත් පුරුදු විය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ. සාමය යනු හුදෙක් බාහිරින් පැතීමට වඩා තමන්ගේ මනසින් අවබෝධ කරගත යුතු දෙයක් බව පවසමින් උන්වහන්සේ දඹුල්ලේ රැස්ව සිටි පිරිසට සිය සාම පණිවිඩය ලබා දුන්හ.













