ඉරානය සහ ඇමරිකානු-ඊශ්‍රායල හවුල්කාරිත්වය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස, යුරෝපා සංගමයේ සාමාජික රටවල් ගුවන්යානා ඉන්ධන (Jet Fuel) තොග පවත්වාගෙන යාම අනිවාර්ය කිරීමටත්, අවශ්‍යතාව අනුව ඒවා රටවල් අතර බෙදාහැරීමටත් යුරෝපා සංගමය සලකා බලමින් සිටී. යුරෝපා බලශක්ති ප්‍රතිපත්ති ප්‍රධානී ඩෑන් ජෝර්ගන්සන් (Dan Jorgensen) රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේ මෙතෙක් වෙළඳපොළ තීරණය මත ක්‍රියාත්මක වූ මෙම අංශය සඳහා ආරක්ෂක පියවරක් ලෙස මෙවැනි රෙගුලාසි හඳුන්වා දීමට සූදානම් බවයි.
දැනට යුරෝපා සංගමයේ රටවල් දින 90කට ප්‍රමාණවත් තෙල් තොග පවත්වාගෙන යාම අනිවාර්ය වුවද, ගුවන්යානා ඉන්ධන ඒ සඳහා අනිවාර්ය කර නොමැති අතර නව යෝජනාව මගින් එය අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වේ. හෝමූස් සමුද්‍ර සන්ධිය දිගුකාලීනව අවහිර වුවහොත් ජූනි මාසය වන විට යුරෝපයට ඉන්ධන හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අනතුරු අඟවා ඇත. යුදමය වාතාවරණය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් TUI සහ easyJet වැනි ප්‍රධාන පෙළේ යුරෝපීය ගුවන් සේවා සමාගම් මේ වන විටත් ලාභය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. යුරෝපා කොමිසම විසින් පිරිපහදු නිමැවුම් නිරීක්ෂණය කරමින් උපරිම ධාරිතාවයෙන් ඉන්ධන නිෂ්පාදනය කිරීමට ද යෝජනා කර ඇති අතර, වෙළඳපොළ මිල පාලනයට වඩා සැපයුම් සුරක්ෂිතතාව කෙරෙහි රජයන් මැදිහත් විය යුතු අර්බුදකාරී සමයකට එළඹෙමින් සිටින බව යුරෝපා බලශක්ති කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.














