2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සිය ජාතික කණ්ඩායම සහභාගී කරවීමට ඉරාන රජය පූර්ණ සූදානමකින් පසුවන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ, ක්‍රීඩා පිටිය උණුසුම් කරමින් දේශපාලන මතිමතාන්තර කරළියට පැමිණ තිබේ.
අද (අප්‍රේල් 22) රාත්‍රියේ ඉරාන රජයේ ප්‍රකාශිකා ෆාතිමා මොහජරානි අවධාරණය කළේ, අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව සත්කාරකත්වය දරන මෙම තරගාවලිය සඳහා අවශ්‍ය සියලු කටයුතු එරට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සම්පූර්ණ කර ඇති බවයි.
මෙම තත්ත්වය වඩාත් ආන්දෝලනාත්මක වන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට පෙර සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි. ඉරාන කණ්ඩායමට තරගාවලියට පැමිණිය හැකි වුවද, ඔවුන්ගේ “ආරක්ෂාව සහ ජීවිත” පිළිබඳව පවතින අවදානම හමුවේ එම පැමිණීම කොතෙක් දුරට යෝග්‍යදැයි ට්‍රම්ප් ප්‍රශ්න කර තිබුණි.
FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ඉරානයේ සහභාගීත්වය අපේක්ෂා කරන බව පවසා ඇති පසුබිමක, ලොව දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය දේශපාලන බලපෑම් හමුවේ කෙසේ විසඳෙනු ඇතිද යන්න පිළිබඳව මුළු මහත් ක්‍රීඩා ලෝකයම දැඩි අවධානයෙන් පසුවේ.













