දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින්, අර්ධ හානි වූ නිවාස සඳහා ලබා දෙන රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අද (අප්‍රේල් 22) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කළේය.
පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් රජය විකල්ප දෙකක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව නව නිවසක් ලබා දීම හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ලබා දීම යන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කළේය.
නව නිවාස ලැබෙන තුරු තවමත් කඳවුරුවල වෙසෙන ජනතාව තාවකාලික නිවාසවල පදිංචි කරවීමට අවශ්‍ය ස්ථාන කඩිනමින් සොයා බැලීමට උපදෙස් දී තිබේ. මීට අමතරව, නව නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට වන්දි ලබා නොගත් පිරිස් වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව ද සාකච්ඡා වී ඇත.
ප්‍රතිසංස්කරණය කළ නොහැකි හෝ නායයෑම් වැනි අධිඅවදානම් සහිත කලාපවල ජීවත් වන ජනතාව ආරක්ෂිත වෙනත් ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි.
සුවිශේෂී ගැටලුවක් පවතින අවස්ථාවකදී හැර සෙසු සියලුම අර්ධ හානි ප්‍රතිලාභීන්ට නියමිත කාලය තුළ වන්දි ලබා දීම සහතික කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට දැඩිව දැනුම් දුන්නේය.













